දේව සාප

අපේ මලුව වත්තේ හොල්මන් තියෙනවා කිව්වට මම විස්වාස කලේ නෑ. අට්ටික්කා ගහ ලඟ දෙවි කෙනෙක් ඉන්නවා කියලා විස්වාස කලෙත් නෑ. දුං ගහ මුල බෝක්කුවේ රෑට කවුද පොඩි එකෙක් අඬනවා ඇහෙනවා කියන එකත් මම විස්වාස කලේ නෑ. කොටින් කිව්වොත් මම අපෙ ගමේ මිනිස්සු විස්වාසකල අමනුෂ්යෝ ගැන වැඩිය හිතුවෙම නෑ. එහෙම උන් ඉන්නවානං ඔහෙ හිටියාවෙ උන්ගෙ පාඩුවේ, මට මගේ පාඩුවේ ඉන්ට දීලා. මේ න්යාය අනුව තමයි මම ජීවිතේ ගතකලේ - ගිය ඉරිදා වෙනකන්.

මම ගමේ ඉපදිලා ගමේ විදිහට හැඩගැහුන කෙනෙක්. අවුරුදු කීපයක් නගරේ ඉස්කෝලෙකට ගියාට ගමේ පුරුදු නැති වුනේ නෑ. එතනින් රස්සාවටත්, රස්සාවෙන් රටේ බොහොම තැන් වල වැඩ කලත් මගෙ ‘ගමේ’ අදහස් උදහස් සම්පූර්නෙම් මැකිලා ගියේ නෑ.

පසුගිය අවුරුදු විස්සකට කිට්ටු වෙන්න මම ජීවත් උනේ මහනුවර. ඒත් නුවරට ආවේ ලමයි දෙන්නා හොඳ ඉස්කෝලෙකට දාගන්න කියලා මිසක් පිට පලාත් එපා වෙලා නෙවෙයි. දැන් ලමයි ලොකුයි - පුතා නිලංත විශ්වවිද්යාලෙ,සිරිනී දුව උසස් පෙල කරනවා මේ අවුරුද්දේ. මම ආන්ඩුවේ රස්සාවෙන් අස්වෙලා දැන් කොන්තරක් කරනවා. පවුල තවම ඉස්කෝලේ උගන්නනවා - තව අවුරුද්දකින් දෙකකින් විතර විශ්රාම යන්න හිතාගෙන. අපිට තියෙන වත්කමෙන් වැඩි අමාරුවක් නැතුව ජීවත් වෙනවා. ගමේ ඉඩමෙන් ලැබෙන ආදායම් නැති වුනානම් මේ තරම් ලේසි වෙන්නේ නෑ.

ගිය සෙනසුරාදා උදේ කමලා, මගෙ පවුල, මගෙන් ඇහුවා ගමේ යන්ට අදහසක් නැද්ද කියලා.

“ටිකිරිබංඩා ඊයෙත් ටෙලිෆෝන් කරලා ඇහුවා කවද්ද එන්නේ කියලා.”

“ඇයි මොකොද එහෙ මොනවාහරි කරදරයක් කියලා කිව්වද?”

“නෑ. මට තේරුන විදිහට අර කරාඹු මුදලාලී ගස් බදු දෙන එක ගැන කතාකරගන්ට එනවා කියන්නේ”

“ඕනැ නං මට පුලුවන් බස් එකේ දුවලා එන්න. හෙට උදේ ගිහින් හවස ආපහු එන්න”

“අපි කාරෙකේ යමුද? මාත් ඇවිල්ලා අපෙ ගෙදර ලඟ බැස්සොත් ආපහු එනකොට මාවත් පික් කරගෙන එන්න පුලුවන්නේ. මට අම්මත් එක්ක කතා කරගන්න ඕනෑ දානේ ගැන.”

කමලගෙ මහ ගෙවල් තිබුනේ අපේ ගමට යන පාරේමයි - හරියටම බාගයක් විතර දුර. එයා තවත් හේතු දෙනවා.

“කාරෙකේ ගියොත් පොල් ගෙඩි කීපයක් ගේන්ටත් පුලුවන්. තව වත්තේ දෙල් එහෙම තියෙනවානං හොඳයි - කාලෙකින් දෙල් කෑවෙ නෑ”

“ඔය කරාඹු මුදලාලිලා එක්ක ලේසියට ගනං හිලව් කතා කරන්න බෑ - කොච්චර වෙලා යයිද දන්නෙ නෑ. අනික ගමේ යනවානං තව බලන්ට හුඟක් දේවල් තියෙනවා…මෙහෙම කරමුද? අපි හෙට උදේ පිටත්වෙලා යමු කාරෙකේ. හැබැයි කමලා බස් එකේ ආපහු එන්න පුලුවන් නම් මට පුලුවන් රෑ එහෙ ඉඳලා තියෙන වැඩ සේරම කරගෙන සඳුදා හවස ආපහු එන්න”

“එහෙනං එන ගමං අපෙ ගෙදරටත් ගොඩවෙලා එන්න. නැත්තං අම්මා තරහ වෙයි”

“අප්පේ උන්දෑ තරහ කරගත්තොත් ආයෙ ඒ පැත්තටවත් එන්න දෙන එකක් නෑ!”

කමලගෙ අම්මට කවදාවත් තරහ යන්නෙ නෑ. අපි දෙන්නම හිනා වෙලා ගමනට එකඟ උනා.

“පොඩ්ඩෝ එන එකක් නෑ නේද?”

“මොනවාහරි විබහගයක් තියෙනවා කියයි!”

කමලලාගෙ මහගෙදරින් තේ නොබී යන්ට බැරිඋන නිසා මම ගමට යනකොට උදේ එකොලහත් පහුවෙලා. මම කෙලින්ම ගියේ අබේ මාමලෑ ගෙදර. අබේ මාමයි නන්ද නැන්දයි විතරයි ඒ ලොකු ගෙදර ඉන්නේ, වැඩට ඉන්න කුස්සි අම්මායි ගුනපාල කොල්ලයි ඇරුනකොට. ඒ දෙන්නගෙ ලමයි හතර දෙනාගෙන් දෙන්නෙක් පිට රට, අනික් දෙන්නා කොලඹයි ගාල්ලෙයි.

“පුතා කියලාවත් නෙවෙයි නේ ආවේ - මොකොවත් උයලාවත් තියන්න තිබුනා”

ඒ නැන්දාගෙ පලවෙනි වචන මම කාරෙකෙන් බැහැලා එනකොට. හාන්සිපුටුවේ හිටිය මාමා කිවේ එක වචනයයි.

“තනියම?”

මම දෙන්නටම වැඳලා කිව්වා කරාඹු මුදලාලී එන කතාව.

“පරෙස්සන් වෙන්ට ඕනෑ ඔය මිනිස්සුන්ගෙන්. පන දෙන්ට වගේ ඔලුව නමලා කතා කෙරුවට බලන්නේ පුලුවන් තරම් කොටා ගන්ට”

“මම හිතුවේ වත්ත පැත්තේ ගිහින් ටික්කත් හම්බුවෙලා එන්න කියලා”

“ටිකිරිබංඩ ඊයෙත් මෙහෙ ඇවිල්ලා ගියා කෙහෙල්කැනකුත් අරං. දැන් මොකොවත් කාලා ගියාපුවාම මනුස්සයත් ගෙදර ඉඳී.”

දවල්ට කාලා ඉවරවෙලා තමයි මම වත්ත පැත්තේ ගියේ. හැබැයි යන්ට ඉස්සර කියලා ගියා එනකොට ටිකක් රෑවෙයි කියලා. මගේ හිතේ තිබුනේ කරාඹු මුදලාලී ගැන විතරක් නෙවෙයි අලුතෙන් ආපු මායිම් ප්රස්නයක් ගැනත් ටිකක් හොයා බලලා එන්න.

හවස් වරුවම ටික්කත් එක්ක හිටපු නිසා ඇඟටත් හිතටත් බොහොම මහන්සි. මොකොද කිව්වොත් ටික්කා නිතරම කතා කරනවා නැවතීමක් නැතුව. කට වහගෙන ටිකක් ඉන්න කියන්නත් බෑ අපි පොඩි කාලේ ඉඳන් එකට හිටපු නිසා.

රෑවේගන එනකොට මම බෝකුව පහල පීල්ලෙන් නාගෙන, ටික්කා ගෙනත් තිබුන රා චුට්ටකුත් බිව්වා. රා වලට මගෙ කැමැත්තක් නැති උනත් නොබී ඉන්න එක ටික්කට නින්දාවක්. අපි රා ටිකකුත් බීලා සිගරැට් කීපෙකුත් ඇදලා, හඳ පායාගෙන එනකොට මම ටික්කට කිව්වා ගෙදර යන්න කියලා හෙට උදේ ආයෙ හම්බුවෙන නිසා. ටික්කගෙ පවුල සැර බව මම දන්නවා. රෑඋනොත් බැනුන් අහන බවත් දන්නවා.

“පොල් ගෙඩි විස්සක් විතර ලෙලිගහලා දාන්න හෙටට. දෙල් තියෙනවානම් ගෙඩි දෙකක් විතර…”

“හා මහත්තයා. හෙට උදේ අටට තමයි මුදලාලී එන්නේ”

ටික්ක ගියාට පස්සේ මම බෝක්කු බැම්ම උඩ වාඩිවෙලා අන්තිම සිගරැට් එකක් බොනවා කියලා නැවතුනා.

ඒක තමා මම එදා කරපු ලොකුම වැරැද්ද.

සිගරැට් එක විසිකරලා නැගිටින්ට හදනකොට මම දැකා තවත් මිනිහෙක් පාරේ අනික් පැත්තේ බෝක්කු බැම්ම උඩ වාඩිවෙලා ඉන්නවා. මං දැකපු ගමන් ඒ මිනිහා මට අත වැනුවා හරියට අඳුරනවා වගේ. මටත් එයා දැකලා පුරුදුයි වගේ හැබැයි කවුද කියලා කියන්න තරම් හොඳට පෙනුනේ නෑ. මට පුදුමේ මිනිහා කොහෙන් ආවද කියලා; පාර දිගේ කොයි පැත්තෙන් ආවත් මට පෙනෙනවා.

“මහත්තයට මාව අදුනාගන්ට බෑ නේද?”

“දැකලා පුරුදුයි හැබැයි….”

“මම ඉන්නේ අර අට්ටික්කා ගහේ”

“ගහේ?”

“ඔව්. දැන් අවුරුදු සීයකටත් වැඩියි”. මිනිහ එහෙම කියලා යන්තන් හිනහවෙනවා.

මිනිහගෙ හිතේ අට්ටික්කා ගහේ දෙයියෝ කියලා මාව බය කරලා මගෙන් ගානක් කොටා ගන්නද කොහෙදෝ.

“මම ඔය අමනුස්සයෝ විස්වාස කරන්නේ නෑ” එහෙම කිව්වට මට හිතේ පොඩි ගැස්මක් තියෙනවා.

“ඒකට මොකද. අපි මනුස්සයෝ විස්වාස කරන්නෙත් නෑ නේ. ඒ අතින් මාත් මහත්තෙයා වගේමයි - අපෙ උන් මිස අනික් උන් විස්වාස කරන්නේ නෑ”

“මං කවදාවත් දැකලා නෑ කොට කලිසන් අදින දෙයියෝ”

“වෙන් මොනවත් අඳින දෙයියෝ දැකලා තියෙනවා වගේ කතා කරන්නේ. මං හිතුවේ මහත්තයා වගේම ඇඳගත්තොත් කතා කරන්ට ලේසි වෙයි කියලා” ඇත්තටම ඌ ඇදගෙන හිටියේ මගෙ වගේම කලිසමකුයි කමිසෙකුයි. සැඬ්ල්ස් දෙකත් ඒ වගේමයි.

මට එතකොට හිතුනා එක්කො මට නින්ද ගිහින් හීනයක් පේනවා, නැත්තන් මම මැරිලා කියලා.

“මහත්තයා මේක හීනයක් නෙවෙයි. මහත්තයා තවම මැරිලත් නෑ”

මම අහපු නැති ප්රස්නෙකටයි ඌ උත්තර දුන්නේ. මං හිතපු දේ කොහොමද දැනගත්තේ?

“මනුස්සයන්ගෙ හිතේ තියෙන දේ බලන එක ලේසියි අපිට. දැන් අවුරුදු සීයකටත් වැඩියි ඒක මට පුලුවන් වෙලා”

“අද මට මොනවා හරි අකරතැබ්බෙයක් වෙන්ටද යන්නේ?”

“පිස්සුද….මට ටිකක් කතා කර කර ඉන්න හිතුනා. අන්තිමට මිනිහෙකුට කතා කලේ මේ බෝක්කුව හදන දවස්වල වාඩියේ හිටපු ඇන්ඩි සිංඥෝ එක්ක. ඒ දැන් අවුරුදු හතලිහකට විතර ඉස්සර”

“ඇයි මලුව වත්තේ තියෙනවා කියන හොල්මං?”

“මතක්කරන්ට එපා. උන්ට පුලුවන් හූ කියන්ටයි අතු කඩලා දාන්ටයි විතරයි. ඒක රිලවුන්ටත් පුලුවන්! රට තොට ගැන කිසිම හැගීමක් නෑ”

ඉගෙන ගත්ත දෙවියෙක්! වෙන මොනවා කරන්ට පුලුවන්ද දන්නෙ නෑ. එහෙම හිතලා ඉවර උනාට පස්සේ තමයි මතක් උනේ දෙයියෝ මං හිතන දේ දන්නවා කියලා.

“මහත්තයා මට බොහෝම දේ කරන්ට පුලුවන්. ඕන නම් ගෙදර යන්ට එලියකුත් හදලා දෙන්ට පුලුවන්”

එහෙම කිව්වා විතරයි සුදට සුදේ බැබලෙන ටෙනිස් බෝලයක් විතර එලියක් අවිත් එයා හිටපු බෝක්කු කන්ඩිය ලඟට ආවා. ඒ එලියෙන් මට පෙනෙනවා එයාගෙ ඔලුව - මගෙ කොන්ඩෙත් මේ තරම්ම සුදුද කියලා මට හිතුනා.

“මේවට තමා මිනිස්සු රාම සැර කියන්නේ. ඉදලා හිටලා මම මේවා එකක් දෙකක් එහෙ මෙහෙ යවනවා කවුරුවත් තනියම රෑ කොහෙවත් යනකොට” මට හිතුනා ඒක හරියට පොඩි කොල්ලෙක් ගෙදරක සීනුව ගහලා දුවනවා වගේ ලාමක සෙල්ලමක් කියල.

“එහෙම ඉඳලා හිටලා නොකෙරුවොත් එකෙක්වත් මාව ගනං ගන්නෙ නෑ”

මෙයා හරියට දෙවි පැටියෙක් වෙන්න ඇති.

“මේ බෝකුව යට ලමයෙක් අඬනවා කියන්නේ…?

“ඒත් මම තමා. මේ පැත්තේ කරන්ට වෙන දෙයක් නෑ” මට දැනෙනවා මෙයාට දැන් ඒක ගැන ටිකක් ලැජ්ජයි කියලා.

“මම මොකක් කියලද තමාට කතා කරන්නේ?”

“.හ්ම්…’දෙයියෝ’ කියන එක හරි නෑ. එක හරියට මහත්තයට ‘මිනිහා’ කියලා කතා කරනවා වගේ…කොහොමද ‘අප්පුහාමී’ කිව්වොත්?”

“හොඳයි. අප්පුහාමී මං දැන් ගෙදර යන්න ඕනෑ. මාමයි නැන්දයි බලාගෙන ඇති ඇයි වෙලා යන්නේ කියලා”

“නෑ. ඒ දෙන්නා පන්සල් ගිහින් තවම ආවෙ නෑ. මොකද්දෝ සමිතියක් තියෙනවලු”

“කොහොමද ඒක දන්නේ?”

“අමතක උනාද මම දෙවි කෙනෙක් කියලා….නම අප්පුහාමී උනාට”

“කෝකටත් ගියොත් හොදයි. හෙට උදේ කරාඹු මුදලාලි එනවා ගස් බදු ගන්න”

“පරෙස්සමෙන් - මිනිහා ලෝකයා. මහත්තයට ‘නිලමේ’ කියයි, ‘අපෙ දෙයියො’ කියයි, ‘අපෙ පොඩි මහත්තයා’ කියයි. හැබැයි හිතෙන් කියන්නේ ‘ඉත්තා’ කියලා. ඒ කියන්නේ ඕනැ පැත්තකට අදින්ට ලේසි නිසා”

“ඇයි මම ඒතරම්ම මෝඩද?”

“මෝඩ කමක් නෙවෙයි බොස්. වෙලඳාම ගැන දන්නෙ නැති එක ලැජ්ජ වෙන්ට දෙයක් නෙවෙයි. මහත්තයා තමං ගැන හිතනවා වගේ නෙවෙයි අනික් අය හිතන්නේ. ඒ අය හිතන්නේ ඒ අයගේ පැත්තට පේන විදිහට”

“මට පුලුවන් කරාඹු ගස් එයාට නොදී වෙන කාට හරි දෙන්න”

“මෙහෙ ඉන්නේ මුදලාලිලා තුන්දෙනයි. ඒ සේරම නෑදෑයෝ. පිටින් කට්ටිය ගෙනාවත් කරාඹු කඩන්ට ඉන්නේ ඒ අයගෙ කුලී කාරයෝ”

මම සද්ද නැතුව ටිකක් කල්පනා කරා මේ ගැටලුව ගැන. ඉඩමේ ආදායම අඩුවුනොත් අපිට ටිකක් කරදර වෙන්ට ඉඩ තියෙනවා. හැබැයි ගස් බදු නොදී මටම වැඩේ කරන්ටත් බෑ කුලී කාරයෝ නැතුව.

“අප්පුහාමිටවත් පේනවද මේකට උත්තරයක්?”

“ප්රස්නේ මොකද්ද?”

“තියෙන කරාඹු වලින් වැඩිම ආදායමක් ගන්නේ කොහොමද කියන එක තමයි මට තියෙන ලොකුම ප්රස්නේ”

“මුදලාලීට ලාබෙකුත් තියාගෙන මහත්තයට දෙන්න පුලුවන් වැඩිම ගනන, ඒ කියන්නේ එයාගෙ සීමාව, දන්නවනම් කතා කර ගන්න එක ලේසී”

“ඒක එයාගෙන් අහන්න බෑ නේ? ඇහුවත් කියන්නෙ නෑ නේ?”

අපි දෙන්නා කතා නොකර විනාඩි කීපයක් හිටියා මලුව වත්ත දිහා බලාගෙන.

“එක ක්රමයක් තියෙනවා හැබැයි ඒක ටිකක් බයානකයි” අප්පුහාමී මේක කියලා බෝක්කුවෙන් ලමයෙක් අඬන සද්දේ පිට කරා. වහාම මං දිහා බලලා “සොරි…” කිව්වා. මට හිනහ ගියා.

“මොකද්ද ක්රමය?”

“මට පුලුවන් මහත්තයට අනික් අය හිතන දේ අහෙන්ට සලස්සන්ට - ඊලඟ පැය විසි හතරට”

“ඇත්තටම? නියමයි! මට පුලුවන් කරාඹු වැඩේ විතරක් නෙවෙයි අර ඉඩමේ මායිමේ ප්රස්නෙත් ඉවරක් කරලා දාන්න”

“හෝව් හෝව්! මං කිව්වා නේද වැඩේ බයානකයි කියලා. මනුස්සයන්ට ආත්ම ශක්තියක් නෑ අනික් අය තමං ගැන ඇත්තටම හිතන දේ අහගෙන ජීවත් වෙන්ට තරම්. මනුස්සයෝ අහන්ට කැමති තමං ගැන හොඳ කියනවා විතරයි. මට විස්වාස නෑ මහත්තයා පැය විසි හතරක් මේව ඉවසගෙන ඉඳී කියලා. ඒ කියන්නේ මොනවා හරි මරිකමක් නොකර”

“මට පුලුවන්! බැරි උනොත් කාමරේ දොර වහලා නිදාගන්ට බැරියෑ?”

“ඒක හිතන තරං ලේසි නෑ. හැබැයි මට පුලුවන් ඒ ඇහෙන එක නවත්තන්ට ක්රමයක් කියා දෙන්ට. මහත්තයට මම ඒ බලය දැන් දෙනව පැය විසි හතරකට. ඒකෙන් ගැලව්න්න ඕනැනම් කෙලින්ම මගෙ ගහ යටට ඇවිත් මල් පැලක් පූජා කරන්ට ”

“ඔට්ටුයි”

“එහෙනම් මහත්තයා දැන් ගෙදර ගියාට කමක් නෑ. බොහොම ඉස්තුතියි මාත් එක්ක කතා කරාට. අන්තිමට මට කියන්ට තියෙන්නේ මේකයි - කාගෙවත් හිතේ තියෙන දේවලට උත්තර දෙන්න එපා - යවයි පිස්සන් කොටුවට!”

මම ගෙදර එනකොට මාමලා තවම ඇවිල්ලා නෑ. කෑම ඇරලා මේසෙට.

කුස්සි අම්මා අවිත් කිව්වා “මහත්තයට කන්ට කිව්වා” උන්දෑ හැරිලා ආපහු හනකොට මට ඇහුනා “ඔව් ඉතින් රා බීලා එනකොට අපි කන්ට දෙන්ට එපැයි - තුහ් විතරක්

මම ගැස්සිලා ගියා කුස්සිඅම්මගෙ කතාවට.

“කුස්සිඅම්මා…”

“ඇයි මහත්තයා වතුර ඕනැද?” උන්දැගෙ හිනහව හරිම තැම්පත් - සිල් අරන් ආවා වගේ.

“නෑ… මාමලා එන්ට වෙලා යයිද?”

“දැන් එනවා ඇති මහත්තයා. අර බෝ මලුවේ බුදුගේ හදන එක ගැන සමිතියක්නේ”

ඒ හොර හාමුදුරුවෝ ඔය සල්ලි ගහගෙන මොක කර ගනීද කවුද දන්නේ. අපේ ගොන්නුත් මහන්සිවෙනව නෙසෑහෙන්ට

මේ සැරේ මම කට වහගෙන හිටියා. අප්පුහාමී කියපු කතාව ඇත්ත. අනික් අය හිතන දේ අමතක කරන එක ලේසි නෑ.

ගුනපාල ඇවිත් “කාමරේ වතුර වීදුරුවක තියලා තියෙන්නේ” කියලා ගියා. එයාගෙ හිතේ තියෙන්නේ නිදා ගන්න එක ගැන විතරයි. කුස්සිඅම්මගෙ අදහස් වලට පස්සේ ඒක මට ලොකු සන්තෝසයක්! ආයෙ මොනවත් ඇහෙන්ට ඉස්සර මම කාපු ගමන් ඇඳට ගියා.

මම අදේ ඉඳන් අප්පුහාමී දෙයියොයි එයා මට දීපු බලය ගැන හිතුවා. මේක විහිලුවක් නෙවෙයි, හැබෑවටම සිද්ද වෙලා. මට කරන්ට බැරි දෙයක් නෑ. හැබෑට සම්මුඛ පරීක්ෂන යන කාලේනං!

හැබැයි එක අතකින් හිතුනා මං මේ කරන්නේ හරි නරක දෙයක් කියලා - අනික් අයගෙ හිතේ තියෙන දේ අහන එක. හරියට අනික් අයගෙ ලියුම් කියවනවා වගේ. ඒකේ අනික් පැත්ත - කවුරුවත් මම හිතන දේ අහගෙන හිටියොත් මම ලැජ්ජාවෙන් මැරෙයි! කෝකටත් මම සෑහෙන්ට කට පරෙස්සන් කරගන්ට වෙනවා හෙට රෑ වෙනකන්.

උදේම මම තේ එකක් බීලා වත්ත පැත්තට ගියා. නැන්දා කිව්වා දවල්ට කන්ට එන්ට කියලා.

නැත්තං අර අඩු කුලේ උන්ගෙන් තමයි කන්ට වෙන්නේ” නැන්දා ඒ හිතුවේ මම කඩෙන් මොකවත් කයි කියලා.

අබේ මාමා හිතුවේ “මුදලාලියා පුතාට මොන යටි කූට්ටුවක් කරයිද දන්නෙ නෑ” හැබැයි කිව්වේ “මාත් එන්ටද?” කියලා විතරයි.

“නෑ මාමා මේ වැඩටික කරගෙන දහය වෙනකොට එනවා. මුදලාලී අටට එනවලු”

මම යනකොට ටික්කයි මුදලාලියි කරාඹු ගස් යට ඇවිදිනවා.

“හා අපෙ පොඩි මහත්තයා දැක්ක කල්”

“මුදලාලී! ගස් ටික බැලුවද?”

“ඔවු මේ ටිකිරි බංඩේ පෙන්නුවා. නියගට ටිකක් බඩු අඩුයි නේද?”

“නෑ ගියසැරේට වැඩිය හොඳයි වගේ මටනං පේන්නේ”

තව සුමානෙකට දෙක්කට ඉස්සර මේක ගන්ට තිබුනේ මේවා පීදෙන්ට ඉස්සර

“ඒ මහත්තයා අර උඩට පේන්ට තියෙන ටික. එව්වා කඩන එක තමා වියදං යන වැඩේ”

ටික්කා කිසි දෙයක් කියන්නෙත් නෑ - හිතන්නේ කුරුම්බා ගෙඩියක් ගැන.

“ටිකිරිබංඩෝ කුරුම්බෙයක් බොමුද?”

“හා මහත්තයා. මං අර කුන්දිරා ගහෙන් කඩාගෙන එන්නන්කෝ”

ගහත් උස නෑ. ඊයේ කාපු ඉත්තේ තව ගෙඩි තුනක් තියෙනවා. බීපු රා මැකෙන්ටත් එක්ක හොඳයි

“ඉතින් මුදලාලී?”

“දැන් ගනං බහිනවානේ අප්පෝ. මං බැලුවේ මටත් මොකවත් තියාගන්ට නං තිහකට වැඩිය මෙතන නෑ”

මට මේක වික්ක හැකි හැත්තෑ පහකට ගහේ තියෙද්දී. බංඩෙට පහක් දෙන්ට වෙයි

“මුදලාලී මෙතන තියෙනවා අනූවක බඩු. හැබැයි මට වැඩිය රස්තියාදු වෙන්ට බෑ. හැටක් දුන්නොත් වැඩේ කම්මුතුයි. එහෙම බැරිනම් අපි වෙන අතක් බලාගමු”

මෙහෙම මුදලාලිට මං කවදාවත් කතා කරලා නෑ. ටික්කා හිටියානම් ගන්නේ මුදලාලිගෙ පැත්ත.

මේ කොහෙන් ආපු කතාවක්ද? බංඩේ මොකොවත් කිව්වද දන්නෙ නෑ මෙයාට

“මම ටික්කට කියලා තියෙන්නේ මං එයාට ගානක් දෙනවා කියලා - මුදලාලී කිසි දෙයක් දෙන්ට එපා”

අපි කුරුම්බා බීලා වෙන්වෙලා ගියේ මගේ සාක්කුවේ රුපියල් පනස් තුන් දාහකුයි ටික්කගෙ අතේ හත්දාහකුයි අරගෙන. මට ඇහෙනවා ටික්කයි මුදලාලියි හිතන දේ.

ඊයේ මං දීපු රා වලටද කොහෙදෝ කොඳුඇටයක් හැදිලා තියෙන්නේ

බංඩේ මට ගානට කපලා. ඕකට වෙලාවක හොඳවැන් දෙකක් කියන්ට ඕනෑ

“අපි එන්නං ගොහින් එන්නං මහත්තයා”

මට මේ දෙන්නගෙ හිතේ තියෙන දේ අහගෙන ඉන්න කිසි පිරියක් නෑ. මම දෙන්නටම අත වනලා වෙන මොකවත් ඇහෙන්ට ඉස්සර අබේ මාමලෑ ගෙදර පැත්තට පිටත් උනා.

මම ඇලෙන් පැනලා ගෙදර පැත්තට එනකොට හරියට කටහඬවල් ඇහෙනවා. ටිකක් නැවතිලා අහගෙන ඉන්නකොට තමා තේරුනේ මේ කටින් කියන එව්වයි හිතෙන් කියන එව්වයි මිශ්ර වෙලා ඇහෙන්නේ කියලා. මම තදින්ම හිතා ගත්තා කටෙන් කියන දේවලට විතරයි උත්තර දෙන්නේ කියලා.

මාමා හාන්සි පුටුවේ පත්තරේ කියවනවා.

“හා… කොහොමද ගනුදෙනුව?”

“හිතුවට වැඩිය හොඳයි මාමා”

“ඒක හොඳයි. - මුදලාලියා ඒත් කට්ට ගහන්ට ඇති. පව් අප්පා පුතාලට ඔව්වා තේරෙන්නේ නෑ

නැන්දත් ඉස්සරහට ආවා.

“පුතා ඉක්මනට කෑම ලෑස්ති කරන්ටද නැත්තන් නාල එහෙම ඇවිත්ද කන්නේ? – දැම්මම දෙන්ට පුලුවන් සම්බලෙයි පරිප්පුයි විතරයි කාලෙකට පස්සේ ඇවිල්ල

මාමට මේක ඇල්ලුවෙ නෑ හැබැයි මොකවත් කිව්වෙ නෑ.“මේ ගෑනිට තියෙන හදිස්සිය! ටිකක් ඉඳලා ගියහම මොකද?

“මං හිතුවේ නැන්දා ටිකක් ඉක්මනට යන්ට කියලා. ටික්කා පොල් ටිකක් එහෙම ලෑස්තිකරලා තියෙනවා. අනික මම යනගමං කමලලාගෙ ගෙදරටත් ගොඩබැහලා යන්ට ඉන්නේ”

“මොකවත් ඉක්මනට ලෑස්ති කරන්නං - ඔය කමලා වගේ නෙවෙයි උන්ගෙ අම්මා. උපාසකී වගේ හිටියට මහා හෙර

කමලගෙ තාත්තා හිටියනං අඩුගානේ අඩියක් වත් ගහන්ට තිබුනා. දැන් එහෙ ගිහිලා වැඩක්ද? – පුතා අර ඉස්සරහ කාමරේ ගිහින් බලන්ට”

මේ කෑමත් ලෑස්තියි - මාමලා බෑනල බොන්ට පටන්ගත්තොත් ආයෙ කොහෙද. අපෙ උන්දැත් බලාගෙන ඉන්නේ කවුරුවත් එනකන්!

කුස්සිඅම්මා ගෙදර බල්ලට බනිනවා. “එලියට පලයන් හ්ම්…හ්ම්…ගුනපාල මේ බල්ලා! - මකබෑවිලා පල වේසිගෙ බල්ලා එනවා මෙතන උයන එක ලඟට. දී!”

ඕකට මංම ඕනැද. ඇයි නාකිච්චිට බැරිද එලවගන්ට? වරෙන් කොල්ලෝ මං උඹට මොකොවත් දෙන්නං කන්ට”

මගෙ ඔලුව කකියනවා සද්දෙට. ඉසේ කැක්කුමක් ලඟම එන බව දැනෙනවා. මම මාමත් එක්ක එලියේ කාමරේට ගිහින් වතුර වීදුරුවක් නොනවත්වා බිව්වා. අතින් ඇස්දෙක වහගෙන හෙමින් හුස්ම ගත්තා විනාඩියක් විතර.

“ඇයි පුතා ඉසේ කැක්කුමද?”

“ඔව් මාමා. අව්ව සැර හින්දද කොහෙද”

නැන්දා ඉස්සරහ කාමරේට එන්නෙ නැති බව මම දන්නවා. ඒ නිසාම අපි වචනයක් කතා නොකර අරක්කු වීදුරු දෙක දෙක බිව්වා. ඒ මුලු වෙලාවෙම මාමගෙ හිතේ තිබුනේ උන්දෑ කොච්චර අගේ කරනවද කියලා මෙහෙම ‘ආශ්රය’ කරන එක.

මට එතකොටයි හිතුනේ කමලලෑ ගෙදර ගියාම නන්දම්මගෙ හිතේ තියෙන දේත් මට අහන්න වෙනවා නේද කියලා. කමලගෙ අම්මත් එක්ක මං දැන් කොච්චර හොඳින් හිටියත් අදට පස්සේ කොහොම වෙයිද. අබේ මාමා මොනවා කිව්වත් මට කමක් නෑ හැබැයි මීට පස්සේ මෙහෙ නැන්දා දිහා මං බලන්නේ වෙන විදිහකට. කඩකාරයන්ගෙ කුලේ ගැන, කමලගෙ අම්ම ගැන එහෙම කියපු දේවල් මතක්වෙනකොට මට මෙහෙ එන ආසාවත් අඩු වෙනවා.

ඊටත් වැඩිය මට බය හිතෙන්නේ ගෙදර ගියාම මොනවා වෙයිද? කමලා මං ගැන මොනවා යටි හිතේ තියාගෙන ඉන්නවද. කොල්ලයි කෙල්ලයි අපි දෙන්නම ගැන මොනවා හිතනවා ඇද්ද. අනික් එක ඒ අයගේ හොර රහස් තියෙනවනම් මට ඒවා දැනගන්න ඕනැම නෑ. මං පොඩිකාලේ නෙවෙයි දැන් උනත් සමහර අයගැන හිතන දේ ප්රසිද්දියේ කිව්වොත් මට බෙල්ලේ වැල දාගන්ටයි වෙන්නේ. අප්පුහාමී කිව්වා වගේ මේක මහ බයානක බලයක්.

“මාමා….”

“පුතා?”

“කොහොමද මාමා මල් පැලක් පූජා කරන්නේ?”

මාමා මං දිහා බලාගෙන හිටියා මට අව්වෙන් හැදුනා කියලා හිතපු ඔලුවේ අමාරුව ඊටත් වඩා ගැඹුරු තැනකින් ආපු එකක් වගේ.

අව්වේ ඉඳලා කොල්ලට යකා ගහලද මංදා

“බාරයක් ඔප්පු කරන්ටද?”

“ඒ වගේ තමයි. මට හිතෙනවා අර අට්ටික්කා ගහ ලඟ මල් පැලක් පූජා කරන්ට කියලා”

මාමගෙ හිත කිසිම සද්දෙයක් නෑ. හැබැයි මූනේ පොඩි හිනහවක් තියෙනවා.

“මට හිතුනා පුතාට දෙවි පැටියා හම්බුවෙලා තමයි කියල!”

“මාමා දන්නවා එයා ගැන?”

“මට පොඩිකාලේ එකසැරයක් කතා කරා. ඇත්තටම කියනවානම් මට චූ ගියා ඉස්සරවෙලාම උන්නාන්සේ කතා කරනවා ඇහුනම. මම මල් පැලක් පූජා කරා පහුවදා මද්දහනෙම - යං අපි දැන් කාටවත් නොකියා”

දවල් කෑම ටිකක් පරක්කු උනාට මට දැනුනා ඒක හරිම රසයි කියලා. නැන්දයි මාමයි එක්ක සන්තෝසෙන් කතා කරකර මම හොදට බඩ පිරෙන්ට කෑවා.

ගෙදරින් පිටත්වෙන්ට ඉස්සර කුස්සි අම්මටයි ගුනපාලටයි හොරෙන් සල්ලි ටිකකුත් දීලා “මාමයි නැන්දයි හොඳට බලාගන්ට ඕනෑ” කියලා කිව්වා. එන ගමන් පොලුයි දෙලුයි කාරෙකේ පටවාගෙන අට්ටික්කා ගහටත් අත වනාගෙන “අප්පුහාමී අපි යනවා” කියාගෙන මම ගෙදර එන්ට පිටත් උනා බොහෝම සැහැල්ලු හිතකින්.